සුඛෝපභෝගී වෑන් රථ මෝටර් රථ හා කැබ් රථ වෙළෙඳ පොළේ මිලට වඩා අඩුවෙන් ලබාදෙන බව පවසා රුපියල් දෙකෝටි 51 ක් ලක්ෂයක මුදලක් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට අනුක්තව රාජකාරී කල මේ වන විට සේවය අතහැර යාමේ නියෝග ලබා ඇත්තෙකු බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු සමග රුපියල් 71500/= ක මුදලක්, ජංගම දුරකථන දෙකක් , ප්‍රසිද්ධ සමාජ ශාලා කීපයක සාමාජික කාඩ් පත් කිහිපයක් හා , බැංකු කාඩ් පත් පොලිසිය මගින් සොයාගෙන ඇත.
සැකකරුට විරුද්ධව ලද පැමිණිලි හතරක් අනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද බාලසූරිය මහතාට ලද තොරතුරකට අනුව කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක් ඉදිරිපිට දී සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී නවාතැන් ගෙන සිටි කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක කාමරයක් පරික්ෂා කිරීමේදී ඉහත දේපළ සොයා ගත් බව පොලිසිය කියයි.
කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හමුවට ගොස් වරායෙන් සහ රේගුවෙන් මෝටර් රථ සහ වෑන් රථ අඩු මුදලට ලබා ගත හැකි බව පවසා පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් මෙම මුදල් වංචා කර තිබූ බව පොලිසිය කියයි.
2023.11.07 වෙනි දින පුද්ගලයන් දෙදෙනකුගෙන් මෝටර් රථයක් සහ වෑන් රථයක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 85 හා 90 ක් ද 2023 .11.14 වෙනි දින කැබ් රථයක් ලබා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 53 ක් ද 2024 .01.12 වෙනි දින මෝටර් රථයක් ලබා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 28ක මුදලක්ද සැකකරු වංචා කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැකකරු 2008 ආධුනික පොලිස් කොස්තාපල්පු ලෙස මූලික පුහුණුව හදාරා පොලිස් සේවයට එක්ව ඇති අතර 2022 නියෝග නිකුත් කර ඇත්තෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුට විරුද්ධව මේ ආකාරයේ තවත් පැමිණිලි වෙනත් පොලිස් ස්ථානවල වෙත ලැබී ඇද්ද යන්න සොයා බැලීම සඳහා සැකකරුගේ ඡායාරූපය සහිතව දුරකථන පණිවිඩ බැහැර කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
34 හැවිරිදි සැකකරු බදුල්ල , කහට රුප්ප, කිරිමින්ගොල්ල පදිංචිකරුවෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.